නූතන පද්‍ය විචාරය
මානවීයත්වයේ යථාර්ථය අපූර්ව සංකල්ප ඇසුරෙන් පාඨකයාට ගෙන ඒමට නූතන කවියා ගනු ලැබූ උත්සාහය පද්‍ය පන්ති තුනක් ඇසුරින් විමසන්න.
" රමණීය වූ අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයයි"
- විශ්වනාථ-
රමණීය වූ අරුත් ප්‍රතිපාදනය කරන කවිය වනාහි විවිධ අරුත්, රස වින්දන ආදිය කුළු ගන්වමින් රසිකයා අපූර්ව වූ ලොවකට රැගෙන යාමට වන්නා වූ උත්සාහයකි. උපමා, රූපක, දීපක, යමක ආදීය යොදමින් සංකල්ප රූප රසික සිතෙහි සිත් රූ කිරීමට ද කවියා අමතක නොකරයි. විවිද තේමා පාඨ ඔස්සේ නිර්මිත පන්හිඳයන් අපූරුය. ඒ අනුව මානවීයත්වයේ පවතින යථාර්ථවාදී දර්ශනය ද නියමාකාරයෙන් දකිමින් නූතන කවීන් නිර්මාණයන් රැසක් බිහිකර ඇත.
ඒ අනුව ගුණදාස අමරසේකරයන්ගේ "අඳුර අපේ දුක නිවාවි" නම් නිර්මාණයෙන් උදේ සිට රාත්‍රිය වන තුරු තම ජීවිකාව සරි කර ගැනීමට වෙහෙසෙන ගැමියකු සහ ඊට උදව් වන ගොනෙකු අතර පුවතක් දක්වන මෙම පද්‍ය තුළ අඳුරට ආවඩනවාත් සමඟ ගැමියා ගවයා සමඟ නැවත ගෙදර බලා යන ගමනේදී ගවයා අමතා කරන දුක්ගැනවිල්ල හා ගවයා සැනසීමට දරන සුහද වදන් තුළින් මානව දයාව, සත්ව කරුණාව, අසරණකම මෙන්ම පාලුව, තනිකම තවද මනුෂ්‍ය වර්ගයාටත් සත්ත්ව වර්ගයාටත් උරුම දුක්ඛිත ජීවිතය ආදී වූ මානවීයත්වයේ පවතින යථාර්තයන් මනාසේ ධ්වනිත කිරීමට සමත් වෙයි.
"යමන් කළුවො", "ඔබට වගේ මගෙ ඇඟටත් හරිම මහන්සිය දැනෙනවා", "මැඩෙව්වාට", "කියාපන්කො" .. ආදී වූ ගැමි ජීවිතයට වඩා සමීපස්ථ වූ වදන් යෙදීම නිසා ගැමි ජීවිතයේ පවතින අතිශය කටුක බව ගැමියාගේ ජීවන සන්තාසය ආදී යථාර්ථ ස්වරූපයන් මැනවින් ගම්‍යමාන කිරීමට කවියාට හැකියාව ලැබී ඇත.
එමෙන්ම "අඳුරු රෙද්ද", "අඳුරු හන්දිය" ආදී රූපකාර්ථවත් යෙදුම් සංයෝජනය හරහා හුදකලා ජීවිතයේ ඇති පුද්ගල මනෝභාවයන් ගෙනහැර පාමින් ප්‍රබල සංකල්පරූප රසික සිතේ මවා ලීමට කවියා උත්සුක වී ඇත.
උඹේ හිතට අමාරුදැයි කියාපන්කො දැන්වත් මට
කරුමෙ තමයි පළිසන් දෙන්නේ අපගේ මේ විදියට
බුදුහාමුදුරුවො කිව්වේ ඒක තමයි දුක නිවන්ට"
අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය එය හෙමිහිට"
අවසාන වශයෙන් කවියා පවසනුයේ දුක්ඛිත වූ දිවි ගමනින් එතෙර වීමට නම් නොපමාව දහමෙහි හැසිර නිවනට යොමුවන බවයි. එවිට බුදුදහමට අනුව මානව ජීවිතයේ ඇති දුක් බරින් නිදහස ලැබිය හැකිය.
ධර්මසිරි රාජපක්ෂයන්ගේ "නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව" නැමැති පද්‍යයෙහි වස්තු විෂය වූයේ අපරිමිත දරිද්‍රතාවයෙන් පීඩා විඳින රබර් යායක ජීවන වෘත්තියෙහි නියැලුණු නැගණියකගේ දුක්ඛ දෝමනස්සයන් මෙනෙහි කර සෝ සුසුම් හෙලන සොහොයුරෙකුගේ හැඟුම් සමුදායකි. දරිද්‍රතාවය නිසා මොවුන් තුළ පවතින දුක්බර හැගීම් යථාර්තවාදීව නිරූපිතය. ධ්වනි ගුණයෙන් සුපෝෂිත මේ නිර්මාණයේ සිය නැගණියගේ ජීවන මංපෙත හෙළි පෙහෙළි කිරීමට අමිල මෙහෙයක යෙදෙන "කිරි පිහිය" අන්වර්ථ නාමයකි. ඒ තුළින් මානවීයත්වයේ පවතින යථාර්ථ බව ගැඹුරු ලෙස පවසයි.
පිඟන් කටු කෑල්ලක් ගෙන
කිරි පිහිය මුවහත් කරමින
සොඳුරු වූ රහසිගත සෙනෙහෙ වීණාව ගෙන"
වය වයා
මිහිර විඳ විඳ
බොහෝ වේලා
නිදිවරන නැගණියෙනි
රළුය නුඹෙ අත
කිරිපිහියට
සැබෑමය එය"
සුපිරිසිදුය
නුඹේ දෑත"
ඒ අත
මාත් වාඩිකර ගනු මැන ඔය සඳයට ම නැගණියනි"
ගැමි දිවිපෙවත ඇසුරින් සැබෑ ජීවන අත්දැකීමක් පාදක කරගත් කවියා පිඟන් කටු කැබැල්ලක් ගෙන කිරි පිහිය මුවහත් තබන නැගණියගේ ප්‍රතිරූපය සංකල්ප රූපයෙන් සහෘදයා වෙත සමීප කිරීමට සමත් වූයේය. උදෑසන ක්‍රම ක්‍රමයෙන් ඝන අඳුර වියැකී යද්දී එම මොහොතෙහිම නැගණිය ක්‍රියා කරන ආකාරය ජීවමාන ආකාරයෙන් මවා පාන්නට කවියා සමත්වෙයි.
"අඳුරු රහසිගත සෙනෙහෙ වීණාව ගෙන" "සඳපාන සේ ආදරෙන් වය වයා" යන පද්‍ය පාදයන්ගෙන් කිරි පිහිය කොතරම් අන්තරායකර ආයුධයක් වූවද ඇගේ ජීවිතය සරි කර දෙන කිරි පිහියට ඈ තුළ ඇති ඇල්ම මනාව ප්‍රකට කරයි. ඇය ඇගේ කිරි පිහිය මුවහත් කරනුයේ කොතරම් සෙනේහයෙන්ද යත් වීණාවක් වයනාකාර වූ රිද්මයානුකූලව ඇය එම මුවහත තබයි. "සඳ පහන සේ" යන නවමු උපමාව මගින් මෙන්ම "වය වයා විද විද" යන අනුප්‍රාසවත් කාව්‍යයෝක්ති මගින් අඳුරු රැය පහන් වීමට ආසන්න මොහොතක දී නිදි වරන නැගණියගේ පිළිරුව සහෘදයා ඉදිරියේ වාග් චිත්‍රයක් ප්‍රතිනිර්මාණය කර ඇත්තේ අපූරු ආකාරයෙනි.
බුද්ධදාස ගලප්පත්තිගේ "දුර රට ගිය පුතු" යන නවමු කාව්‍ය සංකල්පනයට වස්තු විෂය වූයේ දුර රට ගිය පුතා මෙනෙහි කරමින් තම පාළුව තනිකම සංකාව සමනය කර ගැනීමට වෙර දරන පියෙකුගේ සංවේදී චින්තන ධාරාවකි. මෙවැනි මනෝභාවයන්ද මානව ජීවිතයේ දී මුණ ගැසේ. එම හැගීම් ද යථාර්ථවත්ව ඉදිරිපත් කර ඇති බවට මෙම නිර්මාණය කදිම වූ නිදසුනකි. පුතා නැති සොවින් සිත සිතා තැවෙන පියකුගේ යථාර්ථ ස්වරූපය නිරූපණය කිරීමට ස්වාභාවික වස්තූන් පවා කාව්‍යෝචිත පරිදි ඒකාබද්ධ කරමින් පන්හිඳ ගොඩනඟයි.
අලුයමින් පෙරදා ලෙස
රිදුම් දෙනු විනා මා සිත
නොපෙනෙන්නේ කිම්ද කිසි මිහිරක්"
අලුයමින් පෙර දවස් වල ලෙස නැගෙන නෙක විහඟ ගී නදින් පියාගේ මනසට සහනයක් ඇති නොවේ. "රිදුම් දෙනු විනා මසිත" යන කාව්‍යෝචිත හරවත් බස් වහරින් පියාගේ සසල වන ඔඹ-මොබ දෝලනය වන හැගුම් සමුදාය ඉන්ද්‍රිය ගෝචර වන ලෙසින් සහෘදයාට පසක් වේ. "නොපෙනෙන්නේ කිම්ද කිසි මිහිරක්" යන අවස්ථෝචිත යෙදුම ඉතා ප්‍රබල ය. සරල ය. සියුම්ය. පිටු ගණනකින් විවරණය කළ නොහැකි පියාගේ අති ප්‍රබල කම්පිත වන මානසික ආතතිය කැටිකර සතුටක් මිහිරක් ලබා ගැනීමට නොහැකි වූ බව මැනවින් විශද කිරීමට කවියා සමත් වූයේය.
ඒ අනුව උක්ත පද්‍යාවලි ත්‍රිත්වය දෙස සුපරික්ෂාකාරීව නිරීක්ෂණයෙන් පසක් වනුයේ මානව ජීවිතයේ දී ඇතිවන අසරණකම, හුදෙකලා බව, දුක්ඛිත බව, දරිද්‍රතාව, සංවේදී බව ආදී මානවීයත්වයේ පවතින යථාර්ථ වූ මනෝභාවයන් යථාර්තවාදීව ප්‍රබල සංකල්ප ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීමට නූතන කවියා දක්වා ඇති උත්සාහය විශිෂ්ට බවයි.
උසස් පෙළ කලා අංශය
ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ගම්පොළ
උසස් පෙළ විචාර ලයිස්තුව
>> පන්සිය පනස් ජාතක කතා පොත විචාරය 01
>> කුකුළු හැවිල්ල රසාස්වාදය 01
>> ඉගිළෙන සිහින කාව්‍ය රසාස්වාදය 01
>> මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය 01
>> වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය 01
>> දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය 01
>> ආදරණීය පාසල සාහිත්‍ය රසාස්වාදය 01
>> සද්ධර්මාලංකාරය (අතෘප්තිකර ආශාවන් නිසා පරිහානියට පත්වීම)
>> සද්ධර්මාලංකාරය ( පුද්ගල ජීවිතය තුළ ඇති හොඳ සහ නරක)
>>නවකතාව යනු කුමක්ද හා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 01
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 01
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 03
>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 01
Comments